පරිසරයත් සෞඛ්‍යයත් සුරකින සනීපාරක්‌ෂක කසළ රදවන විධි ක්‍රමය

සංවර්ධිත රටවල වුව ද ඉපැරැණි මුල් යුගයේ දී 'කසළ' ජීවත් වන පරිසරයෙන් පිටත විවෘත පරිසරයට මුදා හැරීම සිදු විය. ගංගා, වැව් පොකුණු, ඇළ දොළ ආදිය අසල බැහැර ලීම සාමාන්‍ය දෙයක්‌ විය. කල් යත් ම මීයන් ඇතුළු විවිධ කෘමීන් වර්ග හා විවිධ ලෙඩ රෝග බෝ වීමත්, පාරිසරික අලංකාරය නැති ව යැමත්, පරිසර දූෂණයත් සිදු විය. 1916 පමණ වන විට ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරය තුළ දෛනිකව ඒක පුද්ගල කසළ උත්පාදනය රාත්තල් 4.6ක්‌ වෙමින් ක්‍රමානුකූල ව එම අගය වැඩි වීම සිදු විය.
එකල නගර යනු ලෙඩ රෝග බෝ කරන මධ්‍යස්‌ථාන බවට පත් විය. කොලරාව, පාචනය, ටයිෆොයිඩ් උණ, ඇදුම, නියුමෝනියාව, බ්‍රොන්කයිටීස්‌, පෙණහලු රෝග, මහාමාරිය, එම්ෆිසීමියාව වැනි දීර්ඝකාලීන රෝග බෝ වීම බහුල විය. බලධාරීන් ගේ අවධානය මේ සම්බන්ධයෙන් දැඩි ව යොමු වූ අතර, ලෙඩ රෝග හා අපද්‍රව්‍ය අතර සහසම්බන්ධතාව පර්යේෂණ මඟින් හඳුනාගැනීමට හැකි විය. අනතුරුව කසළ බැහැර ලීමේ විධිමත් උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු විය.
1800 ගණන්වල ප්‍රංශය විසින් කසළ බැහැර ලීමේ විධික්‍රම ප්‍රාථමික මට්‌ටමින් සකස්‌ කර ක්‍රියාත්මක කරන ලදී. 20 වැනි ශත වර්ෂයේ ප්‍රථම භාගයේ දී කසළ දහනයට ලක්‌ කිරීම සිදු කෙරිණි. 1920 වන විට කසළ දහනය කරන අළු හා අපද්‍රව්‍ය කොටස්‌ යොදා වගුරු බිම් ගොඩ කරන ලද නමුත්, එය භූගත ජලය දූෂ්‍ය වීමට මෙන් ම වෙනත් පරිසර ප්‍රශ්න ඇති වීමට හේතු විය.
කසළ බැහැර ලීමේ ක්‍රමවේද අත්හදා බලමින් 1935 දී කැලිෆොaනියාව විසින් ප්‍රථම වරට 'විද්‍යාත්මක කසළ රඳවනයක්‌' ඉදි කරන ලදි. මෙය පරීක්‌ෂණ මට්‌ටමේ එකක්‌ විය. ක්‍රමානුකූල ව ඉදිරියට යමින් 1959 වන විට ඇමෙරිකානු සිවිල් ඉංජිනේරු සංගමය විසින් 'කසළ කළමනාකරණ මාර්ගෝපදේශ' ප්‍රකාශයට පත් කරමින් විද්‍යාත්මක කසළ රදවන මෙහෙයුම් ක්‍රමවේද සකස්‌ කරන ලදී. 1965 දී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ බැහැරලීම් පනත සම්මත කරගැනීම මගින් ඇමෙරිකාවේ කසළ කළමනාකරණය පිළිබඳ ව ජාතික ආයතනයක්‌ බිහි කරන ලදී. 1976 සිට 1990 වර්ෂය වන විට කසළ බැහැර ලීම කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය පුළුල් වී කසළ කළමනාකරණයට අදාළ විද්‍යාත්මක ප්‍රවේශ, ප්‍රමිති උපමාන සකස්‌ කරගැනීමට කටයුතු කරන ලදී. මේ ආකාරයට ක්‍රමයෙන් යුරෝපීය සමාජය පුරා ද විධික්‍රම අභ්‍යාසගත වෙමින් මානව සෞඛ්‍යය හා පරිසරය සුරැකීම උදෙසා විද්‍යාත්මක කසළ කළමනාකරණ උපාය මාර්ග සංවර්ධන විය.
කාර්මීකරණය, නාගරීකරණය, ජනගහන වර්ධනය, ලිබරල් වෙළෙඳපොළ පාරිභෝගික අර්ථ ක්‍රමය ආදී සංසිද්ධි හේතු කොටගෙන කසළ උත්පාදන වේගය ලෝකය පුරා ඉහළ ගොස්‌ ඇත. කසළ සම්පතක්‌ බවට පත් කරගනිමින් මානව සෞඛ්‍යය හා පරිසරය සුරකිමින් සමාජ අභිවෘද්ධිය ඇති කරගැනීම උදෙසා දියුණු රටවල් කසළ කළමනාකරණය උදෙසා වන ප්‍රත්‍යක්‌ෂ විද්‍යාත්මක ක්‍රමවේද හදුනාගෙන ඇත.
විද්‍යාත්මක කසළ කළමනාකරණ ක්‍රමවේද
I.           අධි උෂ්ණත්වයෙන් කසළ දහනය (Incineration)
II.         ප්‍රතිචක්‍රීයකරණය (Recycling)
III.      ජීව වායු නිෂ්පාදනය (Anaerobic Digestion)
IV.       කොම්පෝස්‌ට්‌කරණය (Composting)
V.          සනීපාරක්‌ෂක කසළ රඳවනය (Sanitary Land Fill)
ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඕස්‌ටේ්‍රලියාව ආදී දියුණු බටහිර රටවල් මේ ක්‍රමවේද ඔස්‌සේ කසළ ගැටලුවට විසඳුම් ලබා දෙමින් සාර්ථකත්වය අත් කරගෙන ඇත. චීනය, කොරියාව, වියට්‌නාමය, කාම්බෝජය, පිලිපීනය, ඇංගෝලාව, සුඩානය, කොලොම්බියාව වැනි රටවල ද මේ ක්‍රමවේද ක්‍රියාත්මක වේ. 80 දශකයේ මුල් භාගයේ දී හොංකොං රාජ්‍යය සනීපාරක්‌ෂක කසළ රඳවනයක අපද්‍රව්‍ය තැන්පත් කොට කල් ඉකුත් වීමෙන් පසු දැවැන්ත අංගනයක්‌ ඉදි කර ඇත. ඒ මත ක්‍රීඩා පිටියක්‌, බේස්‌ බෝල් පිටියක්‌, පාපන්දු පිටියක්‌, කුඩා දරුවන්ට සෙල්ලම් පිටියක්‌, මංතීරු 04ක මාර්ගයක්‌ හා වාහන 400ක්‌ දැමිය හැකි අංගනයක්‌ ඉදි කර සමාජ භාවිතයට ගෙන ඇත.

දකුණු කොරියානු ජනරජය කසළ සම්පත ප්‍රශස්‌ත ලෙස කළමනාකරණය කරමින් භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය කරන රාජ්‍යයකි. සියෝල් නගරයේ 1992 වර්ෂයේ ස්‌ථාපිත කර ඇති සුඩොක්‌වෝ - සනීපාරක්‌ෂක කසළ රඳවනය වත්මන් ලෝකයට ආදර්ශයක්‌ සපයන සම්පත් මධ්‍යස්‌ථානයක්‌ වේ. මනා ලෙස භූමි අලංකරණය කෙරුණු උද්‍යාන, ළමා සුරැකුම් මධ්‍යස්‌ථාන, ක්‍රීඩාංගණ, විවේකාගාර මෙන් ම මෙගාවොට්‌ 50ක විදුලි බලාගාරයක්‌ ද මෙහි ස්‌ථාපනය කරමින් ආර්ථික හා සමාජ ප්‍රතිලාභ අත් කරගෙන තිබේ.


ශ්‍රී ලංකාව හා කසළ කළමනාකරණ ඉදිරි ක්‍රියාමාර්ග
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දියුණු යුරෝපීය රටවල මුල් යුගය හා සමාන අවධියක පසු වන ශ්‍රී ලංකාව ඉදිරිගාමී පියවරක්‌ තබමින් ප්‍රථම විද්‍යාත්මක කසළ රදවනය 1995 - 1999 කාලයේ දී ලෝක බැංකුවේ ආධාර මත මීපේ ප්‍රදේශයේ ඉදි කිරීමට කටයුතු කළ ද විවිධ විරෝධතා මධ්‍යයේ එය අසාර්ථක විය. ඉන් අනතුරුව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දොම්පේ මැතිවරණ කොට්‌ඨාශයේ කිරිඳිවැල මාළිගාවත්ත ප්‍රදේශයේ මෙය ඉදි කිරීමට පියවර ගනු ලැබිණි. කොරියානු රජයේ ඩොලර් මිලියන 06ක මූල්‍ය අනුග්‍රහය ඇති ව ඉදි කළ මේ සනීපාරක්‌ෂක කසළ රඳවනය 2014 වර්ෂයේ සිට මෙහෙයුම් කටයුතු අරඹා ඇත. දිනකට කසළ ටොන් 90ක්‌ පමණ මේ කසළ රඳවනයට බහා ලිය හැකි ය. වසර 25කින් පිරවුම් කාලය අවසන් වේ. අනතුරුව මේ කසළ රඳවන භූමි භාගය උද්‍යාන, ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථාන, සම්පත් මධ්‍යස්‌ථාන, විදුලිබල ව්‍යාපෘති ආදී ඵලදායී කටයුතුවලට යොදාගැනීමට හැකියාව තිබේ.

කසළ කළමනාකරණය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සතු විෂයයකි. පළාත් පාලන ආයතන එනම්, මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා විසින් රැස්‌ කරනු ලබන කසළ ප්‍රතිචක්‍රීකරණයට, කොම්පෝස්‌ට්‌කරණයට, ජීව වායු නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍ය හා තාක්‌ෂණික සේවා සපයා ඇත. සාර්ථක ව්‍යාපෘති ගණනාවක්‌ මෙහි දී හඳුනාගත හැකි ය.

ලංකාවේ කසළ උත්පාදන සංයුතිය බලන විට 75%ක්‌ දිරාපත් වන ද්‍රව්‍ය වේ. සෙසු ද්‍රව්‍ය අතර ලෝහ, ප්ලාස්‌ටික්‌, වීදුරු ආදිය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ය. දිරා යන 75%ක ප්‍රමාණය අධික තෙතමනයකින් යුක්‌ත වීම හේතුවෙන් දහනය කිරීම ද දුෂ්කර ය. මෙහි දී ප්‍රශස්‌ත ක්‍රියාමාර්ගය වන්නේ, ඒවා කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට යොදා ගැනීමයි. කසළවලින් කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කළ ද ප්‍රතිචක්‍රීකරණය කළ ද අවසානයේ දී ඵලදායි කිසිවක්‌ කළ නො හැකි ලෝහ, රබර්, පොලිතීන් හා විවිධ අබලි කොටස්‌ ශේෂ වේ. එම කොටස්‌ විද්‍යාත්මක ව පාරිසරික හා සනීපාරක්‌ෂක ලෙස තැන්පත් කිරීමට යොදාගනු ලබන්නේ, සනීපාරක්‌ෂක කසළ රඳවනයයි. ලොව පිළිගත් කසළ කළමනාකරණ ක්‍රමවේදයක්‌ ලෙස මේ ක්‍රමවේදය ඔස්‌සේ දොම්පේ සනීපාරක්‌ෂක කසළ රඳවන ව්‍යාපෘතියේ අත්දැකීම් ද සැලකිල්ලට ගෙන විදේශ මූල්‍ය ආධාර යටතේ, ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ, හික්‌කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ රත්ගම මොන්රෝවියා වත්ත, අනුරාධපුරයේ කිරක්‌කුලම, පොළොන්නරුවේ මීගස්‌වැව හා යාපනයේ කීරමලෙයි යන ප්‍රදේශවල ඉදිරියේ දී සනීපාරක්‌ෂක කසළ රඳවන ව්‍යාපෘති ඉදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

මෙහෙයුම් ක්‍රියාකාරිත්වය, සෞඛ්‍ය හා පරිසර සංරක්‌ෂණය

සනීපාරක්‌ෂක කසළ රඳවන ක්‍රියාකාරිත්වය තුළින් ජල දූෂණය, වායු දූෂණය, පස දූෂණය, වළක්‌වන අතර, රෝග වාහකයන්, ලෙඩ රෝග බෝ වීම ද, සමාජ ගැටලු ඇති වීම ද පාලනය කරයි. සමාජ සුරක්‌ෂsතතාව ද ඇති කරයි. විවෘත කසළ බැහැර ලීමේ දී කසළ භූමියේ ආස්‌තරණයක්‌ නොමැති බැවින් කසළවලින් ගලන අප ජලය සෘජු ව ම පොළොව තුළට ගොස්‌ පොළොව තුළට කාන්දු වී භූගත ජලය දූෂ්‍ය වේ. සනීපාරක්‌ෂක කසළ රඳවනයේ පතුල ජලය කාන්දු නො වන විශේෂයෙන් සකස්‌ කරන ලද කෘත්‍රිම ආස්‌තරණයක්‌ (Bottom Liner) මඟින් ආවරණය කර ඇති බැවින් කසළවල අපදියර පොළොව තුළට ඇතුළු වීම වැළකෙන අතර, භූගත ජලය දූෂණය නො වේ. කසළ රඳවනයේ, පතුලේ රැෙදන අපදියර ඒ මත ඇති විශේෂ නළ පද්ධතියක්‌ (Leachate Collecting Pipes) මගින් ඉවතට ගනු ලබයි. එබැවින් භූගත ජලයට අපදියර එකතු වීමක්‌ සිදු නො වේ. විවෘත කසළ බහා ලන ස්‌ථානවල අපදියර සෘජු ව ම භූගත ජලයට එකතු වේ. විශේෂ නළ පද්ධතියක්‌ මගින් ඉවත් කරගන්නා අපදියර ප්‍රතිකර්ම පද්ධතියක්‌ (Leachate Treatment Plant) මගින් පිරිපහදු කොට ප්‍රමිති මට්‌ටමට ගෙන පරිසරයට මුදා හරිනු ලබන බැවින් ජලය දූෂණයක්‌ සිදු නො වේ. උදාහරණයක්‌ ලෙස දොම්පේ කසළ රඳවන ව්‍යාපෘතියේ, පිරිපහදු ජලය භාවිත කරමින් අවට කුඹුරු වගා කෙරේ. කවරාකාර පාරිසරික හෝ සෞඛ්‍ය ගැටලුවක්‌ මේ දක්‌වා වාර්තා වී නැත. විවෘත කසළ භූමිවල ජලය කිසිදු ප්‍රතිකර්මයකට භාජන නො වන බැවින් භූගත ජලය දූෂණය වේ. වැසි ජලය විවෘත කසළ භූමි හරහා ගලා යමින් අවට භූමි මෙන් ම ජල දූෂණයක්‌ සිදු කරන අතර, කසළ රඳවනයට බැහැරින් ජලය ගලා නො යන ලෙස පාලනය කර ඇති බැවින් ජල දූෂණයක්‌ සිදු නො වේ.

විවෘත කසළ බැහැර ලීමේ දී වායු හුවමාරුව නිසි පරිදි නො වීමෙන් කසළ බිම් තුළ නිර්වායු වායුන් එකතු වීම හේතුවෙන් කසළ බිම නිරතුරුව ම ගිනි ගැනීම සිදු වන අතර, පිට වන වායු වර්ග මගින් විවිධාකාර සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න ඇති වේ. කසළ රඳවන ක්‍රියාකාරිත්වයේ දී හානිකර වායූන් අවම කිරීම සඳහා නළ පද්ධතියක්‌ (Gas collecting pipes) යොදාගනී. එබැවින් පරිසර ගැටලු ඇති නො වේ. කසළ රඳවන තුළ ඇති වායූන් පිටතට ගෙන පිළිස්‌සීම සඳහා විශේෂ උපක්‍රම ද යොදා ඇති අතර, විවෘත කසළ බිම්වල දී එකතු වන විෂ සහිත වායූන් බාහිර පරිසරය හා එකතු වීමෙන් දූෂිත තත්ත්වයක්‌ ඇති වේ. දිනපතා අගල් 06ක පස්‌ තට්‌ටුවකින් කසළ රදවන බිම වැසීම සිදු කරන බැවින් දුර්ගන්ධය පාලනය ද සිදු වේ.

විවෘත කසළ භූමිවලට කසළ රැගෙන එන වාහන කසළ ගොඩබෑමෙන් පසු පිටතට යැමේ දී ඒවායේ තැවරී ඇති කසළ මඟින් බාහිර ප්‍රදේශ හා මංමාවත් දූෂ්‍ය කරයි. කසළ රඳවනයට කසළ රැගෙන එන වාහන කසළ ගොඩබෑමෙන් පසු අංගනයෙන් පිටතට යැමට පෙර වාහන හා ටයර් සෝදා පවිත්‍ර කරනු ලැබේ. එබැවින් පිටත ප්‍රදේශ හා මංමාවත් දූෂිත නො වේ. විවෘත බැහැර ලීම්වල දී කසළවල ඇති පොලීතින්, ප්ලාස්‌ටික්‌, වීදුරු, බැටරි, ආදිය පසට මිශ්‍ර වීම සිදු වන අතර, එමගින් පසේ සාරවත්භාවය හීන වේ. සනීපාරක්‌ෂක කසළ රඳවන පතුලේ ආස්‌තරණය හේතුවෙන් කසළ අපදියර පස තුළට ගලා යැමත්, භූගත ජලය පස සමග මිශ්‍ර වීමත් වළක්‌වමින් පරිසරය ආරක්‌ෂා කරයි.
විවෘත බැහැර ලීම් හේතුවෙන් කසළ කදු ගොඩනැෙගන අතර, ඒවා මතුපිටට නිරාවරණය වී පවතී. බාහිර පරිසරයට කසළ පැතිර යැම ද සිදු වේ. කසළ කන්ද විශාල වූ විට බිඳී යැමේ අවදානමක්‌ ද පවතී. සනීපාරක්‌ෂක කසළ රඳවනයේ දී කසළ ක්‍රමවත් ආකාරයෙන් අංගනය තුළ පැතලි ආකාරයට තැන්පත් කරන අතර, රඳවනය වටා ඉදි කර ඇති බැම්ම මගින් කසළ බාහිර පරිසරයට එකතු වීම වළක්‌වයි. කසළ රඳවනයේ ආරක්‌ෂsත වැට හේතුවෙන් බල්ලන්, බළලුන්, හරකුන් වැනි සතුන් භූමිය තුළට පැමිණීම සිදු නො වේ. කසළ, අවට පරිසරයට පැතිර යැම ද සිදු නො වේ. සුළඟට කසළ ගසාගෙන යැම ද, සතුන් මඟින් බෝ කරන ලෙඩ රෝග පැතිර යැම ද පාලනය වේ. විවෘත කසළ භූමි වැසි ජලයට නිරාවරණය වේ. එහි දී ටින්, වීදුරු බෝතල්, ප්ලාස්‌ටික්‌ බෝතල්, පොලිතීන් කවර ආදියේ ජලය එක්‌රැස්‌ වී මැසි මදුරුවන් බෝ වන අතර, රෝග පීඩාවන් ද ඇති වේ. සනීපාරක්‌ෂක රඳවනය තුළ කසළ තැන්පත් කිරීමෙන් පසුව දිනපතා අගල් 06ක පමණ පාංශූ ආවරණයක්‌ යෙදීම මඟින් මැසි මදුරු බෝ වීම පාලනය වන අතර, ඩෙංගු, මැලේරියා, පාචනය, කොලරාව වැනි රෝග බෝ වීම ද වැළකෙනු ඇත.

විවෘත කසළ බැහැර ලීම් ප්‍රදේශවල, ප්‍රදේශවාසීහු විවිධ මැසි මදුරු රෝගවලට මෙන්ම දරුණු කුෂ්ට රෝගවලට නිරන්තරයෙන් භාජනය වෙති. එම ප්‍රදේශවල පරිසර අලංකාරය ද නැති වේ. ප්‍රජාව තුළ නො සන්සුන්තාව ද වර්ධනය වන අතර, සමාජ පිළිගැනීම සම්බන්ධයෙන් ද අගතිගාමී ආකල්ප ඇති වේ. සනීපාරක්‌ෂක කසළ රඳවන ක්‍රියාකාරිත්වයේ දී ජනතාවට කසළ ගැටලුව සඳහා විද්‍යාත්මක විසදුමක්‌ ලැබී තිබේ. ඒ තුළ රැකියා උත්පාදන ව්‍යාපෘති ද ක්‍රියාත්මක වන අතර, තිරසර සංවර්ධන කාර්යයට ද දායකත්වයක්‌ ලැබේ. අවසාන වශයෙන්, ප්‍රදේශවාසීන්ට විවිධාකාර වූ සෞඛ්‍ය, පාරිසරික හා සමාජ ගැටලුවලින් තොර ව සුවදායී යහපත් ජීවිතයක්‌ ගත කිරීම උදෙසා මේ සනීපාරක්‌ෂක කසළ රදවන උපාය මාර්ගය තුළින් ඉඩ ප්‍රස්‌තාව ලැබී තිබේ.

ආශ්‍රිත කරගැනීම:

http://greenrisks'blogspoot'com/2011/07/land fills-history'html

(මාධ්‍ය ඒකකය)
පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය, මධ්‍යම පරිසර අධිකාරිය

Comments

Popular posts from this blog