අපද්‍රව්‍ය කළමනාකරණයේ නව ප්‍රවණතා

මානව ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ මිනිසා ගේ එදිනෙදා කටයුතු පහසු වූවා මෙන් ම සංකීර්ණ ද වූයේ ය. කර්මාන්ත හා තාක්‌ෂණික දියුණුවත් සමග ම මේ සංකීර්ණ ජීවන රටාව තුළ මිනිසා ජීවන තරගයේ හිනි පෙත්තට නැගීම පිණිස කාර්ය බහුල විය. එදිනෙදා දිවි පැවැත්මේ භාවිතාවන් හා උපයෝගීතාවන් සංකීර්ණ වීමත් සමඟ පරිභෝජනවාදී සමාජ ක්‍රමය විසින් ගෝලීයකරණය ලෙසින් මුළු පෘථිවි තලය ම වෙළාගන්නාලදි.

මෙලෙස අතීත මානවයා මුහුණ නො දුන් ගැටලු රැසකට නූතන මානවයාට මුහුණ දීමට සිදු ව ඇත. පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඇති වීම හා බැඳුණු කාලගුණික විපර්යාසයන් මේ අතර මූලික වේ. පරිසර දූෂණය හා බැඳුණු ප්‍රධාන සංඝටකය වන්නේ මිනිසා විසින් පරිසරය වෙත මුදා හරිනු ලබන අසීමාන්තික අපද්‍රව්‍ය පරිසරයේ දරාගැනීමේ හැකියාව ඉක්‌මවා යැමයි. එය ජලගෝලය, වායුගෝලය මෙන් ම ශිලා ගෝලය ද දූෂණය කිරීමේ දූෂකකාරකය වෙයි.
අපද්‍රව්‍ය යනු ප්‍රයෝජනයට ගත හැකි හෝ අමුද්‍රව්‍ය කොටගත හැකි ද්‍රව්‍යයන් ඊට පැවතීමට නුසුදුසු ස්‌ථානයන්හි ප්‍රයෝජනයට ගත නො හැකි ආකාරයෙන් පැවතීම ය. සැම අපද්‍රව්‍යයක්‌ ම ස්‌වාභාවික සම්පත්වලින් සැදුම් ලත් ද්‍රව්‍යවලින් යුතු අතර ඒවා නිසි කළමනාකරණයට ලක්‌ කිරීමෙන් නැවත නැවතත් ප්‍රයෝජනයට ගත හැකි ය. එහි දී වැදගත් වන්නේ අප යොදාගත යුතු කළමනාකරණ තාක්‌ෂණ විධික්‍රමයි.
අපද්‍රව්‍ය මූලික වශයෙන් ම කොටස්‌ දෙකකින් යුතු අතර එය උපද්‍රවකාරී නො වන අපද්‍රව්‍ය හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය ලෙස දැක්‌විය හැකි ය. එදිනෙදා ගෘහාශ්‍රිත ව බැහැර ලන කසළ හා කර්මාන්තශාලා මගින් බැහැර ලන විෂ නො වන අපද්‍රව්‍ය උපද්‍රවකාරී නො වන කසළ යටතට ගැනෙන අතර කර්මාන්තශාලා මගින් ඉවත ලන බැරලෝහ මිශ්‍රිත අපද්‍රව්‍ය, රෝහල් ආශ්‍රිත අපද්‍රව්‍ය එනම් සායනික අපද්‍රව්‍ය හා ඉලෙක්‌ට්‍රොනික හා විද්යුත් අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍ය යටතට ගැනේ. ඒ අනුව මේ අපද්‍රව්‍ය දෙවර්ගයේ කළමනාකරණ විධික්‍රම හා තාක්‌ෂණයන් ද එකිනෙකට වෙනස්‌ වේ.
ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට වඩා පහසු හා අඩු තාක්‌ෂණික ක්‍රමවේද මගින් කළ හැකි වුව ද නූතන ජනයා ගේ සමාජ රටාව හා ජීවන පැවැත්ම අනුව බැහැර ලන කසළ ප්‍රමාණය ඉහළ හෙයින් දැන් ඒ සඳහා ද වඩාත් විද්‍යාත්මක සහ ඉහළ තාක්‌ෂණයකින් යුත් ක්‍රමවේද යොදාගැනීම සිදු වේ. එහි දී සංවර්ධිත රටවල දැනට යොදාගන්නා මිල අධික ඉහළ තාක්‌ෂණික මෙවලම් හා පහසුකම් සපයාගැනීම අප වැනි සංවර්ධිත රටවලට උගහට ය. එබැවින් සරල තාක්‌ෂණික ක්‍රමවේද යොදාගනිමින් ගෘහාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙතෙක්‌ සිදු කරන ලදි. එහි දී මූලික වශයෙන් දිරන කසළ එනම් ගෘහාශ්‍රිත ව ඉවත දමන ආහාර කොටස්‌ වැනි දිරාපත් වන කසළ එක්‌රැස්‌ කර කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කිරීම දැනට සිදු කෙරෙන එක ම කළමනාකරණ ක්‍රමවේදය වේ. කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයෙන් ඉතිරි වන කොටස්‌ බිම් පිරවුම් සඳහා යොදාගනු ලබයි. එහෙත් අධික ලෙස එක්‌රැස්‌ වන ගෘහාශ්‍රිත උපද්‍රවකාරී නො වන අපද්‍රව්‍ය තවදුරටත් සරල තාක්‌ෂණික විධික්‍රම මගින් කළමනාකරණය කළ නො හැකි මට්‌ටමකට පැමිණ ඇත. එබැවින් නවීන තාක්‌ෂණික ක්‍රම යොදාගැනීමට සිදු වී ඇත. ඒ අනුව දැනට ගෘහාශ්‍රිත කසළ කළමනාකරණය සඳහා ඇති විවිධ අධි තාක්‌ෂණික ක්‍රමෝපායන් යොදාගැනෙයි. එම ක්‍රම අතර කොම්පෝස්‌ට්‌ සෑදීම, අධික තාපයක්‌ යටතේ දහනය කිරීම, සනීපාරක්‌ෂක බිම් පිරවුම් හා ප්‍රතිචක්‍රීකරණය ද වෙයි.
කොම්පෝස්‌ට්‌ සෑදීම
දිරාපත් වන අපද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරනු ලබන වඩාත් පහසු හා ප්‍රචලිත ක්‍රමය කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයයි. මෙහි දී මහා පරිමාණ හා වාණිජමය මට්‌ටමින් මෙන් ම නිවාස මට්‌ටමින් වළ ක්‍රමය හෝ කොම්පෝස්‌ට්‌ බඳුන් මගින් එදිනෙදා නිවාස තුළ

එක්‌රැස්‌ වන කසළ වෙන් කිරීම මඟින් නිවාස තුළ දී ම කසළ කළමනාකරණයට අවස්‌ථාව විවෘත ව පවතී. එහි දී මිශ්‍ර කසළ බැහැර ලීම වෙනුවට දිරන කසළ, නො දිරන කසළ ලෙස වෙන් කර, දිරන කසළ නිවස තුළ දීම කොම්පෝස්‌ට්‌ බවට පත් කිරීමේ සරල තාක්‌ෂණික ක්‍රමවේද අනුව කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කළ හැකි ය. එහි දී වෙන් කරන ලද නො දිරන කසළ නාගරික කසළ එකතු කරන අයට භාර දිය හැකි ය. එලෙස ලබා දෙන නො දිරන කසළ පොලිතීන්, ප්ලාස්‌ටික්‌, වීදුරු, යකඩ යනාදි වශයෙන් වෙන් කර ඒවා නියමිත තාක්‌ෂණික ක්‍රමවේද ඔස්‌සේ ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. මෙහි දී පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත ව පවතින අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය හා තාක්‌ෂණික දායකත්වයන් රාජ්‍ය ආයතන මගින් ලබා දෙනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතීන් මූල්‍යමය දායකත්වයන් හා තාක්‌ෂණික දැනුම ද මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දෙනු ලැබේ.

2017
වර්ෂයේ අප්‍රේල් මස 14 වැනි දින සිදු වූ මීතොටමුල්ල නාය යැමෙන් පසු රජය ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක්‌ ගත් අතර ඉන් වඩාත් වැදගත් වන්නේ ගෘහාශ්‍රිත කසළ කළමනාකරණය සඳහා වඩාත් ඉහළ තාක්‌ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමයි. ඒ අනුව නිර්වායු තාක්‌ෂණය මගින් ජීවවායු නිෂ්පාදනය, ජීව වායු දහනය මගින් විදුලිය නිපදවීම, අධි උෂ්ණත්ව දාහක මගින් අපද්‍රව්‍ය දහනය කර විදුලිය නිපදවීම යනාදිය මේ වන විට ප්‍රචලිත ව ඇති අධි තාක්‌ෂණික කළමනාකරණ ක්‍රමෝපායන් වේ.

නිර්වායු තාක්‌ෂණය මගින් ජීව වායු නිෂ්පාදනය
මෙහි දී ඉතා විශාල බහාලුම් තුළට එක්‌රැස්‌ කරනු ලබන දිරාපත් වන අපද්‍රව්‍ය විශේෂයෙන් ආහාරමය අපද්‍රව්‍ය නිර්වායු තත්ත්ව යටතේ පැසීමට ලක්‌ කරනු ලබයි. එලෙස නිර්වායු තත්ත්ව යටතේ මෙතෙනෝජෙනික (මීතේන් ජනනය කරන) බැක්‌ටීරියා මගින් සිදු වන පැසීමේ දී මීතේන් වායුව ජනනය වන අතර එම මීතේන් වායුව අධිතාක්‌ෂණික ක්‍රම යටතේ එකතු කරගනු ලබයි. එලෙස වෙන් කර ලබාගන්නා ලද ජීව වායුව සෘජුව ම භාවිතය අපහසු බැවින් ඒ මීතේන් වායුව දහනය කර ලබාගන්නා තාපය මගින් විදුලිය නිපදවිය හැකි ය. එය පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස ජාතික විදුලි පද්ධතියට ලබා දිය හැකි අතර මේ වන විට ලංකාවේ විශාලතම කසළ අංගනය වන පිළියන්දල තුම්බෝවිල පිහිටි කරදියාන කසළ අංගනය ආශ්‍රිත ව මෙවැනි කසළ මගින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක්‌ ස්‌ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා මේ වන විට අනුමත වී ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරෙමින් පවතින අතර ඉදිරි වසර තුනක කාලයක දී එය ක්‍රියාකාරී වීමට නියමිත ය. මෙවැනි ම කසළ මගින් විදුලිය ජනනය කරන ව්‍යාපෘතීන් දෙකක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී ඇති අතර ඒවා මුතුරාජවෙල හා කෙරවලපිටිය යන ප්‍රදේශ වල පිහිටා ඇත. ඉදිරි දෙවසරක කාලයක්‌ තුළ දී එම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත ය. මේ අධිතාක්‌ෂණික පුනර්ජනනීය බලශක්‌ති නිෂ්පාදනාගාර ස්‌ථාපිත කිරීම ශ්‍රී ලාංකික අපද්‍රව්‍ය කළමනාකරණයේ නව නැම්මක්‌ වෙයි. මෙවැනි පුනර්ජනනීය බලශක්‌ති උත්පාදකයන් රටේ තිරසාර සංවර්ධනයේ ශක්‌තිමත් බලකණු වනු නො අනුමාන ය.
අධික උෂ්ණත්වය යටතේ දහනය කිරීම
මෙහි දී තෝරාගත් කසළ වර්ග අධික උෂ්ණත්වයක්‌ යටතේ දහනය කිරීම සිදු කරයි. මෙහි දී බොහෝ විට උෂ්ණත්වය 1,000 0C -1,200 0C අතර අගයක්‌ ගනී. මෙහි දී සියලු ම වර්ගයේ කසළ එනම් උපද්‍රවකාරී නො වන ගෘහාශ්‍රිත කසළ මෙන් ම උපද්‍රවකාරී වන කර්මාන්තශාලාවලින් බැහැර ලන ඝන කසළ ද අධි උෂ්ණත්වය යටතේ දහනය කරනු ලැබේ. මේ අධි උෂ්ණත්වය නිසා ප්ලාස්‌ටික්‌ හා PVC දහනයෙන් ඩයොක්‌සීන් හා ෆියුරාන් වැනි උග්‍ර පිළිකාකාරක විෂ වායූන් විමෝචනය නො වේ. එහෙත් අඩු උෂ්ණත්ව දහනයේ දී මේ විෂ වායුන් නිරන්තරයෙන් පරිසරය ට මුදා හැරෙන අතර ඉන් වායු දූෂණය මෙන් ම පිළිකා අවදානම ද ඇති කරයි.

බිම් පිරවුම්
සනීපාරක්‌ෂක බිම් පිරවුම් හෙවත් කසළ රඳවන අපද්‍රව්‍ය කළමනාකරණයේ අවසාන බැහැර ලීමේ ක්‍රමවේදය වේ. එනම් දිරන කසළ ආශ්‍රයෙන් කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයෙන් පසු ඉතිරි වන කොටස්‌ මෙන් ම අධි උෂ්ණත්ව දාහක මගින් දහනය කිරීමෙන් පසු ඉතිරි වන අළුවල බොහෝ විට බැර ලෝහ අඩංගු වන බැවින්, දහන අළු බැහැර ලීම ඉතා විධිමත් හා විද්‍යාත්මක ක්‍රමයකින් කළ යුතු වේ. මේ සඳහා යොදාගත හැකි එක්‌ ක්‍රමෝපායක්‌ වන්නේ සනීපාරක්‌ෂක හෝ ඉංජිනේරුමය තාක්‌ෂණය ඔස්‌සේ සකසන ලද කසළ රඳවනයන් ය.
මෙහි දී ඉහත විද්‍යාත්මක ක්‍රමවේදයන් හා නිර්නායකයන් අනුගමනය කරමින් තෝරාගන්නා ලද භූමියක කසළ රැඳවුම් ඉදි කරනු ලැබේ. රඳවා තබන කසළ පස සමඟ ගැටීම වැළැක්‌වීමට මූලික තාක්‌ෂණික ක්‍රමෝපායන් ගනු ලබන අතර වැසි ජලය අපවහනය, විෂ වායු මීතේන් හා අනෙකුත් වායුන් එක්‌රැස්‌ කිරීම මෙන් ම ක්‌ෂීරිතය පිරිපහදු කිරීම යන ප්‍රධාන කාරණා සලකා බලනු ලැබේ.
මේ කරුණු අනුව ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සනීපාරක්‌ෂක කසළ රඳවනය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දොම්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙනයින් බලන කල ශ්‍රී ලාංකීය කසළ කළමනාකරණයේ ප්‍රවණතාව ලෙස අධි තාක්‌ෂණික ක්‍රමවේද මෙන් ම කොම්පෝස්‌ට්‌ සෑදීම වැනි සරල තාක්‌ෂණික ක්‍රමෝපායන් ද දැක්‌විය හැකි ය. නවීන තාක්‌ෂණික ක්‍රම මේ වන විට රට තුළ ස්‌ථාපිත කෙරෙමින් පවතින අතර බොහෝ ඒවා විදේශීය ණය ආධාර ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි අවබෝධතා ගිවිසුම් ප්‍රකාර ව මේ කසළ කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කසළින් තොර ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගීමේ උත්සාහය සිහිනයක්‌ පමණක්‌ නො වනු ඇත.

උපුටා ගැනීම :
අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය
මධ්‍යම පරිසර අධිකාරිය

Comments

Popular posts from this blog